Monday, January 2, 2012

අලුත් පනතින් හොර උපාධි කඩ වහනවා











අලුත් පනතින් හොර උපාධි කඩ වහනවා

එස්. බී. දිසානායක
උසස් අධ්‍යාපන අමාත්‍ය
සරසවි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ දී සැලකිල්ලට ගැනෙන්නේ විභාග අපේක්‍ෂකයන්ගේ දිස්ත්‍රික් හෝ ජාතික කුසලතාවය නොව ‘Z අගය’ බව සඳහන් කරන උසස් අධ්‍යාපන ඇමතිවරයා, දිස්ත්‍රික්ක කුසලතාවය දෝෂ සහිත ලෙස සටහන් වීම අන්තර් ජාලයේ දැක්වූ ප්‍රතිඵල ලේඛනයේ ඇතිවූ තාක්‍ෂණික දෝෂයක් පමණක් බවත් විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ මුද්‍රිත ප්‍රතිඵල ලේඛන වල ප්‍රතිඵල නිවැරදිව සටහන් ඇති බව මෙලෙස ස්ථිර කොට ප්‍රකාශ කර සිටියේ ය.

* මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සමහරකගේ ප්‍රතිඵල ලේඛනවල දිස්ත්‍රික්ක හා ජාතික පදනම ගැටලු සහගත ලෙස සඳහන් වීම විභාග ක්‍රමය ගැන මෙන්ම විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලාභීන් තෝරා ගැනීමේ පදනම ගැනත් අවිශ්වාසයක් ඇති කිරීමට හේතු වී තිබෙනවා නේද?
එහෙම සැකයක් ඇති කර ගන්න හේතුවක් නැහැ. තාක්‍ෂණික දෝෂයක් නිසා අන්තර් ජාලයේ ප්‍රතිඵල සමහරක ජාතික හා දිස්ත්‍රික්ක පදනම දෝෂ සහිත ලෙස සඳහන් වෙලා තිබුණා තමයි. නමුත් විශ්වවිද්‍යාලයට සිසුන් තෝරා ගැනීමේ දී ජාතික හෝ දිස්ත්‍රික්ක කුසලතාවය ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඒ සඳහා බලපාන්නේ Z අගයයි.
පාසල් වලට නිකුත් කළ මුද්‍රිත ප්‍රතිඵල ලේඛනවල දිස්ත්‍රික් හා ජාතික කුසලතාවය නිවැරදිව සටහන්ව තිබෙනවා. අන්තර්ජාල ප්‍රතිඵලවලත් දිස්ත්‍රික් හා ජාතික කුසලතාවය කෙටි කාලයක් ඇතුළත නිවැරදි කළා. ඒ නිසා මේ ප්‍රතිඵල සියයට සියයක්ම නිවැරදියි.

* විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමේ දී ‘ Z අගය’ මත පදනම් කරගත් ක්‍රමයක් ඇති කිරීමට බලපෑ හේතුව කුමක් ද? පෙර පැවති ලකුණු මට්ටම මත ප්‍රවේශය තීරණය කිරීම මෙයට වඩා සරල නැද්ද?
‘Z අගය’ මත විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට පටන් ගත්තේ 2001 වසරේ සිට. එවැනි ක්‍රමයක අවශ්‍යතාවය කාලයක සිට විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් හා බුද්්ධිමතුන් මතු කළා. ඒකට හේතු ගණනාවක් තිබෙනවා.

හිටපු ගමන් සමහර උසස් පෙළ ප්‍රශ්න පත්‍ර අමාරු වෙනවා. එතකොට එම විෂයට පෙනී සිටි දරුවන්ට කලින් තිබුණු ක්‍රමයෙන් විශාල අසාධාරණයක් වෙනවා. එවගේම ඇතැම් වෙලාවට ආචාර්යවරු මහාචාර්යවරු හදන ප්‍රශ්න පත්‍ර විෂයයට පෙනී සිටින සියලු දෙනාටම ලේසි වෙනවා. එතකොට ඔවුන්ගේ ලකුණු මට්ටම ඉහළ යනවා. ඔවුන්ට එයින් වාසියක් වෙනවා. ඒ වගේම අනික් අයට එය අවාසියක් වෙනවා.
මේ දෙකට අමතර තවත් හේතුවකුත් තිබෙනවා. ඒ තමයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ දී ළමයි කෙටි මාර්ග හොයන්න ගත්තා. ඒ ලකුණු වැඩිය ගන්න පුළුවන් විෂයක් උසස් පෙළ සඳහා එක් කර ගැනීම.
තර්ක ශාස්ත්‍රය, සිංහල වැනි භාෂා විෂයන් ඒ සඳහා ඔවුන් භාවිතා කළා. ඒකෙන් විශාල පිරිසකට අසාධාරණයක් වුණා. මේ විදිහට එක විෂයකින් විශේෂ වාසියක් හෝ අවාසියක් වීම නිසා තව පිරිසකට වෙන අසාධාරණය වළක්වන්නයි ‘Z අගය” මත තීරණය කිරීමේ ක්‍රමය ඇති කළේ.

* විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරා ගැනීම සඳහා කඩඉම් ලකුණු මට්ටම තීරණය කෙරෙන ‘Z අගය’ හැදෙන්නේ කොහොම ද?
‘Z අගය’ තීරණය වන්නේ උසස් පෙළ විභාගයට පෙනී සිටි විෂයන් තුනෙන් පොදු මධ්‍යයන අගය ජාතික වශයෙන් සලකා බැලීමෙන් පසුවයි.
කෙටියෙන් කිව්වොත් ඒක වෙන්නේ මෙහෙමයි. මුලින්ම එක් එක් විෂය සඳහා ශිෂ්‍යයන්ගේ මධ්‍යයන අගය බලනවා. ඉන්පසු එය විෂයන් සංඛ්‍යාව වූ තුනෙන් බෙදනවා. එවිට ඔහුගේ ‘Z අගය ලැබෙනවා.
එක් එක් විෂයේ මධ්‍යයන අගය සොයා ගන්නේ සිසුවාගේ අදාළ විෂයේ ලකුණු එම විෂය සඳහා පෙනී සිටි සිසුන්ගේ මධ්‍යයන අගයෙන් අඩු කිරීමෙන් පසුයි. ඒ පිළිතුර විෂයේ සම්මත අපගමනයෙන් බෙදනවා. එවිට ඔහුගේ අදාළ විෂය සඳහා Z අගය ලැබෙනවා. විෂයන් තුනේ Z අගය තුනෙන් බෙදීමෙන් ඔහුගේ ‘Z අගය’ ලැබෙනවා. මේක තමයි ඉතාම සාධාරණ ක්‍රමය.

* එතකොට මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ප්‍රතිපාදන කොමිෂම සකස් කළ සූත්‍රය පෙර පැවති සූත්‍රයට වඩා සංකීර්ණ වීමට හේතුව කුමක් ද?
2011 උසස් පෙළ විභාගය සඳහා විෂයන් නිර්දේශ දෙකක් යටතේ දරුවන් පෙනී සිටියා. එතකොට මේ නිර්දේ්ශ දෙක යටතේම වෙන වෙනම සාමාන්‍ය අගයන් තීරණය කොට නිර්දේශ දෙකටම පොදු වන ආකාරයට ‘Z අගයක්’ නිකුත් කිරීමේ අවශ්‍යතාවය ඇති වුණා.
සමහරු කියනවා ආණ්ඩුවට සැලැස්මක් නැහැ. මේ Z අගය කළින් තීරණය කරන්න බැරිද කියලා. මේ කතා කියන්නේ අධ්‍යාපනය ගැන අබමල් රේණුවක්වත් නොදන්න අයයි. විෂය නිර්දේශ දෙක යටතේම විභාගයට ලියපු සියලුම දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර බැලීමෙන් පසු ඒවායේ සාමාන්‍ය අගය සකස් කරන තුරු ‘Z අගය’ මොකක් ද කියලා වේලාසන කියන්න බැහැ. ලකුණුවල ව්‍යාප්තිය දෙස අවධානය යොමු කිරීමෙන් පස්සෙයි මේ සූත්‍රය සකස් කරන්නේ. කාටත් අසාධාරණයක් නොවෙන විදිහට මේක සකස් කළ යුතුයි.
සූත්‍රය සකස් කිරීමේ කමිටුවට ලංකාවේ සිටින ගණිතයට හා සංඛ්‍යානයට ඉතාමත් දක්‍ෂ මහාචාර්යවරුන් පිරිසක් සම්බන්ධ වුණා. ඔවුන් සංඛ්‍යාන විද්‍යාවේ තිබෙන ලෝකයම පිළිගත් සූත්‍රයක් ඒ සඳහා භාවිතා කළා. ඒ නිසා කාටවත් මේක වැරදියි කියන්න බැහැ.

* කිසියම් ශිෂ්‍යයෙක්ගේ දිස්ත්‍රික් කුසලතාවය වැරදියට සටහන්වීම ‘Z අගය’ තීරණය කිරීමට බලපෑමක් කරනවා ද?
නැහැ. Z අගය සකස් කරන්න හෝ විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය කරන්න දිස්ත්‍රික් කුසලතාවය බලපාන්නේ නැහැ. දිස්ත්‍රික් කුසලතාවයෙ වැරැද්දන් සකස් කර තිබෙනවා. ඊළඟට මේ වැරැද්ද නැවත වතාවක් සිදුවීම වැළැක්වීමට එය සිදුවූ ආකාරය සෙවීමට කමිටුවක් පත් කර තිබෙනවා.

* උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වීම ප්‍රමාද වීම නිසා විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමත් කල් යනවා ද?
නැහැ. ප්‍රතිඵල එන්න කල් ගියේ නැහැ. මෙයට කළින් හැමදාම ප්‍රතිඵල නිකුත් වුණේ උසස් පෙළ විභාගය පැවැති අවුරුද්දට පස්සෙ අවුරුද්දෙයි. ගිය අවුරුද්දෙත් අපි ඔක්තෝබර් වෙන කොට සියලුම විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගත්තා. මේ අවුරුද්දෙත් ප්‍රමාදයකින් තොරව ඔක්තෝබර් වන විට සියලුම විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් කරනවා. නැත්නම් ඒකෙන් පිරිසකට අසාධාරණයක් වෙනවා.

* දේශීය විශ්වවිද්‍යාල සඳහා අයදුම් කරන සිසුන්ට බලපෑමක් නොවුණත් විදෙස් සරසවි සඳහා අයදුම් කරන සිසුන්ට බලපෑමක් වෙනවා නේද?
නැහැ. ඔවුන්ටත් බලපෑමක් වෙන්නේ නැහැ. මෙයට කලින් විදෙස් සරසවි වලට අයදුම් කරන සිසුන් පුරුදුවෙලා හිටියේ මේ අවුරුද්දෙ ප්‍රතිඵල වලින් ඊළඟ අවුරුද්දෙ පිටරට විශ්වවිද්‍යාලවලට අයදුම් කරන්නයි. නමුත් අපි අදාළ වර්ෂයේම ප්‍රතිඵල නිකුත් කරන්න පටන් ගත්ත නිසා ඒ වසරේම ඔවුන්ට අයදුම් කරන්න පුළුවන් වුණා. මේ වසරේත් ඔවුන් ට දැන් වසරක් කලින් අයදුම් කරන්න පුළුවන් වෙලා තිබෙනවා.

* පෞද්ගලික විශ්වවිද්‍යාල නිර්මාණය කිරීම සඳහා ලඟදීම පණතක් ගෙන එන බවට මතයක් තිබෙනවා. එය ඇත්තක් ද?
පෞද්ගලික විශ්වවිද්‍යාල අමුතුවෙන් ඇති කරන්න දෙයක් නැහැ. ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළේ මෙයට අවුරුදු නවයකට කළින්.
ආයෝජන මණ්ඩලයේ ආයතන පනස් එකක් පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න ලියාපදිංචිවෙලා තිබෙනවා. දැනටමත් පෞද්ගලික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසිනමයක් ක්‍රියාකාරීව තිබෙනවා. ඔවුන් උපාධි, ඩිප්ලෝමා, පශ්චාත් උපාධි දෙනවා.

* එහෙමනම්, අලුතින් ගෙන එන පනත කුමක් සඳහා ද?
‘ප්‍රමිති ආරක්ෂණ වරප්‍රදාන සුදුසුකම් රාමුව පිළිබඳ පනත’ මඟින් කෙරෙන්නේ ලංකාවේ දැනටමත් ක්‍රියාත්මක හා ඇරඹීමට අදහස් කරන ආයතනවල ප්‍රමිතිය ආරක්ෂා කිරීමයි. ඊළඟට විශ්වවිද්‍යාල කියලා බොරු කරන ආයතන අහෝසි කිරීමයි.
මීට පස්සෙ කවුරුහරි උසස් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරනව නම් කලින් තිබුණා වගේ ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිවෙලා පමණක් කරන්න බැහැ. අපි ඒක කවුද කරන්නේ? උගන්වන්නේ කවුද? මොනවද පාඨමාලා? කොච්චර කල් උගන්වනවද? වගේ සියලුම දේවල් හොයනවා. මේ පනත හදන්නේ එහෙම සොයා බලන්න බලයක් ගන්නයි. ඒකට වෙනම කවුන්සිලයක් හදනවා.

* දැනට ක්‍රියාත්මක වන උසස් අධ්‍යාපන ආයතනවල ඉගැන්වීමේ ක්‍රමවේද ගැන ගැටලු තිබෙනවා. ඔවුන් ප්‍රමුඛතාවය දෙන්නේ මුදල් ඉපැයීමට බවට චෝදනා තිබෙනවා.
ඇත්ත. තිබෙන ආයතනවල ගැටලු තිබෙනවා. උපාධියක් කියන්නේ මොකක්ද, පශ්චාත් උපාධියක් කියන්නේ මොකක්ද, ඩිප්ලෝමා එකක කාලය කොපමණ ද? ඒවායේ උගන්වන්න අවශ්‍යය සුදුසුකම් මොනවාද? කියලා කිසිම වර්ගීකරණයක් නැහැ. නමුත් අපි ඒ සියල්ලක්ම නිවැරදි කරනවා. රට තුළ ක්‍රියාත්මක වන උසස් අධ්‍යාපන ආයතන සියල්ලටම සම්මත රාමුවක් සකස් කරනවා. ඒ අනුව ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව විශ්වවිද්‍යාල පාඨමාලා හැදෙනවා. බොරු කරන්න බැරිව යනවා.

* පෞද්ගලික හෝ රාජ්‍ය නොවන කුමන නාමයක් යටතේ හෝ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට බාහිරව විශ්වවිද්‍යාල බිහිවීම නිදහස් අධ්‍යාපනයට බාධාවක් නොවේද?
නිදහස් අධ්‍යාපනය පුළුල් කරන්න රජරට, වයඹ, සබරගමුව වගේ අලුත් විශ්වවිද්‍යාල අලුතින් ඇති කළා. කොතලාවල ආරක්ෂක පීඨය, වෘත්තීය තාක්ෂණ ආයතනය, ජාතික අධ්‍යාපන ආයතනය වගේ රාජ්‍යය ආයතනවලට උපාධි පිරිනැමීමේ අවස්ථාව ලබා දුන්නා.
ඒ වුණත් වර්ෂයකට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන අයගෙන් උපාධිධාරියෙක් බවට පත්වීමට අවස්ථාව ලැබෙන්නේ ඉතාම සුළු දෙනෙක්ට පමණයි.
විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන පිරිසෙන් තව කොටසක් විදේශ විශ්වවිද්‍යාල සඳහා ඇතුල්වෙනවා. ඒ සඳහා ඔවුන් විශාල මුදලක් අය කරනවා. ඉතාම අමාරුවෙන් හොයාගන්න විදේශ විනිමය නැවත පිටරටට ඇදිලා යනවා.
නමුත් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇති කරලා උපාධි අයිතිය පුළුල් කළොත් ඒ මුදල ඉතිරි වෙනවා පමණක් නොවෙයි රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුල් නොවන සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්ගේ දරුවන්ටත් මේ විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා.

* ජාතික විශ්වවිද්‍යාල සතු බුද්ධිමය සම්පත් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලට ඇදීයාම වළක්වන්න ප්‍රතිපාදනයක් මේ පනතේ තිබෙනවද?
ඔව්. මේ පනතේ ඊළඟ අරමුණ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්ෂා කිරීමයි. ඒ සඳහා කොන්දේසි රැසක් ඇති කර තිබෙනවා.

No comments:

Post a Comment